Friday, October 28, 2022

අනිච්චා වත සංඛාරා ගාථාව මලගෙවල්වල විතරක් කියන්න ඕන ගථාවක්ද

 


අනිච්චා වත සංඛාරා ගාථාව මලගෙවල්වල විතරක් කියන්න ඕන ගථාවක්ද                      

 

                         අනිච්චා වත සංඛාරා
                         උප්පාද වය ධම්මිනෝ
                         උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
                         තෙසං වුපසමො සුඛො

               මේ ගාථාව ලංකාවෙ ඉන්න බෞද්ධයො හැමෝම වගේ අහලතියනව. මොකද හැම මලගෙදරකම පාංසකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවරු මේ ගාථාව අනිවාර්යයෙන් කියනව. මලගෙදරකදි හාමුදුරුවරු මේ ගාථාව කියනවිට අහගෙන ඉන්න එක එක දැණුම් මට්ටම්වල ඉන්න අය  කොයි කොයි ආකාරයෙන්ද මේ ගාථාව තේරුම් ගන්නව ඇත්තෙ කියල හිතල බලමු

 එක දැණුම් මට්ටමක අය මේ ගාථාව තේරුම් ගන්නව ඇත්තෙ මෙහෙම වෙන්න පුලුවන්

 

අනිච්චා වත සංඛාරා - හාමුදුරුවො  ඒ කිව්වෙ මේ තියන ඔක්කොම අනිත්‍ය බවයි         උප්පාද වය ධම්මිනෝ - ඒ කිව්වෙ උපදින හැම දෙයක්ම නැතිවෙලා යනව කිව්ව එකයි      උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - ඒ කිව්වෙ ඉපදුන හැම සතෙක්ම මැරිල යනව කියන එකයි

 තෙසං වුපසමො සුඛො කියන කාරණය නං ඒ අය වැඩි දෙනෙකුට තේරෙන්නෙ නැහැ ඒ නිසා ඒ ගැන අවධානයක් නැතුව ඉන්නව                                                                                                                              ඒ අනුව ඒ අය තේරුම් ගන්න පොදු අදහස වෙනව ඇත්තෙ
 ඉපදුන හැමෝම අනිත්‍යයයි ඉපදුන හැමෝම මැරිල යනව ඒ අනුව දැන් මේ මැරිල තියන අයත්  මරණයට පත්වෙලා  තියනව ඉතින් ඕක ගණන් ගන්න දෙයක් නැහැ දුක්වෙන්න දෙයක් නැහැ දුක්වෙලා පලක් නැහැ ඕක තමයි හැටි කියන එක


ඊළගට බලමු ඔය මළගෙදර ඉන්න ටිකක් බණ අහල තියන කෙනෙක් මේක තේරුම් ගන්නව ඇති විදිහ


අනිච්චා වත සංඛාරා - සියලු සංස්කාරයන් අනිත්‍යය                                                
උප්පාද වය ධම්මිනෝ - උපදින සියල්ල නැතිව යන ස්වභාවයෙන් යුක්තය                     උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - ඉපදුන සියල්ලෝම මරණයට පත්වෙයි නිරුද්ධ වෙයි                  තෙසං වුපසමො සුඛො -  ඒ අයටත් ඒක හරියට තේරෙන්නෙ නැහැ ඒ නිසා ඒ අයත් ඒක අත ඇරල දානව
ඒ අනුව බණ ටිකක් දන්න ඒ අය තේරුම් ගන්න පොදු අදහස වෙනව ඇත්තෙ
ලෝකෙ තියන හැම සංස්කාරයක්ම අනිත්‍යයි ඒක හින්ද ඉපදුන හැමෝමත් අනිත්‍යයයි ඒ ඉපදුන හැමෝම මැරිල යනව ඒ අනුව දැන් මෙයත් මේ ඉගෙනගෙන රස්සාවල් කරල ගෙවල් දොරවල් හදල ලමයි හදල වඩල ආදී කටයුතු කරමින් ඉඳල මැරිල ගිහින් තියනව ඒක තමයි හැටි ඉතින් මේ මරණය ගැන එච්චර දුක්වෙන්න දෙයක් නැහැ කියන අදහසවෙන්න ඕන.


ඔහොම තව දැණුම් මට්ටම් තුනහතරක් විතර ඉදිරියට ගිහින් බුද්ධධර්මය තරමක් දුරට නිවැරදිව දන්න කෙනෙක් මේ ගාථාව තේරුම් ගන්න විදිහ බලමු

 

ඒ ගැන විස්තර ලියන්න වෙන්නෙ අහල තියන ධර්මදේශණාවල ස‍ඳහන්වෙන කරුණු කාරණා භාවිතාකරමින්. හැබැයි නිවැරදිව බණ අහල නැති අයට සමහර කරුණු තේරුම්ගන්න අපහසුවෙන්න පුලුවන්. ඒ අයට කරන්න තියෙන්නෙ තේරුම්ගන්න පුලුවන් තරමට තේරුම්ගෙන නැවතත් නිවැරදිව බණ කියන ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන් බණ අහනඑක

 

1)    අනිච්චා - ඉච්ච කියන්නෙ කැමැත්ත එහෙම නම් අනිච්ච කියන්නෙ කැමත්ත ඉටු

                            නොවන කියන එක

 

     2)    සංඛාර -        සංඛාර කියන්නෙ සිතේ ඇතිවන රාග ද්වේශ මෝහ ස්වභාවයන් සහිත

                              ක්‍රියාකාරී ස්වභාවය. සංඛාර 1)කාය සංඛාර 2) වචී සංඛාර 3) චිත්ත

                              සංඛාර යනුවෙන් සංඛාර වර්ග තුනක්  ඇතිබව චූල වේදල්ල සූත්‍රයෙ

                              සඳහන්වෙනව. එළඹෙන අරමුණු නිච්ච ලෙස දකිමින් අවිද්‍යාමූල සංඛාර

                              ඇතිකර ගත්තොත් එයින් ඇතිවන අකුසල චිත්තශක්තිය

                              ප්‍රමාණයක් චිත්ත සංථානයෙ තැන්පත් වෙනව. එය සසර පැවැත්මට

                             හේතුවෙනව.

 

     එතකොට අනිච්චා වත සංඛාරා කියන්නෙ සංඛාර අනිච්ච ලෙස දකිනව කියන එකයි. මේ සඳහන්වෙන්නෙ සද්ධර්මය දැනගෙන එය භාවිතාකරන කෙනෙකුගෙ ස්වභාවයයි. එවිට එම තැනැත්තා අවිද්‍යාමූල සංඛාර ඇතිකරගන්නෙ නැහැ. අවිද්‍යාමූල සංඛාර විසංඛාර කරනව. එවිට අකුසල චිත්ත ශක්තිය නොහොත් සමුදය උප්පාදවෙන්නෙ නැහැ. එයින් යම්ප්‍රමාණයක් අනාගතය වෙනුවෙන් අනුසය ලෙසින් චිත්ත සංථානයෙ තැන්පත් වෙන්නෙ නැහැ. එය සසරින් මිදීමට හේතුවෙනව.

 

සද්ධර්මය හරියාකාරව නොදන්න පෘථක්ජන කෙනෙක් බොහෝවිට දකින්නෙ සංඛාර නිච්ච ලෙස සුඛ ලෙස අත්ථ ලෙස. එම අය එළඹෙන සමහර අරමුණු සමග ඇලීම් ගැටීම් මුලාවීම ඇතිකරගන්නෙ ඒ නිසයි.  

 එතකොට උප්පාද  වය ධම්මිනෝ කියන්නෙ

ඒ කියන්නෙ සිතට එළඹෙන රූප වේදනා සංඥා ආදිය  ඒවා ඇතිවීමට හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන ධර්මතාවයෙන් යුක්තය කියන එකනෙ. හැබැයි මෙහෙම වෙන්නෙ ඒවා අනිච්ච දුක්ඛ අනත්ථලෙස දකින කෙනෙකුගෙ විතරයි. ඒවා නිච්ච සුඛ අත්ථලෙස දකින පෘථක්ජන කෙනෙකුගෙ සිතේ එහෙම වෙන්නෙ නැහැ. ඒ අය එයින් සමහර අරමුණු සම්බන්ධව අවිද්‍යාමූල සංඛාර ඇතිකරගන්නව. පෘථක්ජන කෙනෙක්ගෙ සිතේ උප්පාදවන අවිද්‍යාමූලසංඛාරයන් සම්පූර්ණයෙන්ම වයව යන්නෙ නැහැ. ඒවා වයව යන්නෙ අකුසල චිත්ත ශක්තිය යම්ප්‍රමාණයක් චිත්ත සංථානයෙ ඉතිරිකරමින්. එය අයහපත් දෙයක්. එයට හේතුව චිත්ත සංථානයෙ ගබඩාවන එම අකුසල බව තමයි දිගින් දිගට සසර පැවැත්මට හේතුපාදකවෙන්නෙ.

   
එතකොට මොකක්ද උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති කියන්නෙ
උප්පාදවන්නට එන සමුදය උප්පාදවන්නට එන අවස්ථාවේදීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත කියන එක. එයට හේතුව අකුසල චිත්ත ශක්තිය අනුසය වශයෙන් චිත්ත සංථානයෙ තැන්පත් නොවෙන්න නම් උප්පාදවන්නට එන අවිද්‍යාමූල සංඛාර නැතහොත් උප්පාදවන්නට එන සමුදය උප්පාදවන්නට එන අවස්ථාවේදීම නිරුද්ධ වෙනවා කියන කාරණය වෙන්න ඕන නිසා.


දැන් ඉතින් අන්තිම පදයෙන් ඒ කියන්නෙ තෙසං වුපසමො සුඛො කියල කියන්නෙ මොකක්ද

තෙ කියන්නෙ තුන කියනඑකනෙ‚ සං කියන්නෙ සිතේ ඇතිවන රාග ස්වභාවය ද්වේශ ස්වභාවය මෝහ ස්වභාවයන්. එවිට තෙ සං කියන්නෙ සිතේ ඇතිවන සං ස්වභාවයන් තුන කියන එක.

එවිට තෙසං වූපසමො සුඛො කියන්නෙ යම්කෙනෙක්ගේ සිතේ ඇති රාග ස්වභාවය ද්වේශ ස්වභාවය මෝහ ස්වභාවයන් සංසිඳුනවිට නොහොත් රාගබව ද්වේශබව මෝහබව යන අකුසල මූලයන් තුනෙන් මිදුනවිට එම තැනැත්තා සැබෑ සැපයට පත්වන්නේය කියන කාරණය

 


ඒ අනුව මෙම ගාථාවේ සරල තේරුමවන්නේ සංඛාර අනිච්චලෙස දකිමින් අකුසල චිත්ත ශක්තිය උප්පාදකර නොගන්නා‚ සිතට එළඹෙන රූප වේදනා සංඥා ආදිය සිතේ කිසිවක් ඉතිරිනොකර උප්පාදව වයව යන ස්වභාවයෙන් යුතු‚ උප්පාදවන්නට එන අවිද්‍යාමූල සංඛාරයන් නිරෝධකරන ස්වභාවයෙන් යුතු ‚ සිතේ ඇති රාගබව ද්වේශබව මෝහබව උදුරා දමා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදී නිදහස්ව සිටින තැනැත්තේ සැබෑ සැපයට පත්වන්නේය කියන එක. එබැවින් මේ ගාථාව සියලු බුදුවරයන්වහන්සේලා විසින් දේශණා කරනු ලබන ශ්‍රී සද්ධර්මය ඇතුලත් ඉතා වැදගත් ඉතා වටිනා ගාථාවක් 

දැන් බලමු මේ ගාථාව ත්‍රිපිටකයෙ කොහේද සඳහන්වෙලා තියෙන්නෙ කියල 

 


 

මේ ගාථාව සඳහන්වෙලා තියෙන්නෙ දීඝනිකායෙ මහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්‍රයෙ. මේ ගාථාව කියල තියෙන්නෙ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ ශක්‍ර දේවේන්ද්‍රය විසින් බවයි සඳහන්වෙන්නෙ.

මේ ගාථාව සඳහන්වෙන තවත් තැනක් තියනව. ඒ කථාව මෙහෙමයි. ඉස්සර බණ දන්න අය නැති ඒ නිසා බණ අහන්න විදිහක් නැති කාලයක හිටපු දහම්සොඬ කියල රජකෙනෙකුට බණ අහන්න ඕනවෙලා තියනව. ඉතින් රජතුමා රටපුරා බණ දන්න කෙනෙක් හොයල තියනව බණ අහන්න. ඒත් බණ දන්න කෙනෙක් හොයාගන්න බැරිවෙලා තියනව. ඉතින් රජතුමා බණ අහන්න නොලැබෙනවානම් මේ විඳින රජසැපෙන් වැඩක් නැහැ කියල රජකම අත්හැරදාල බණ අහන්න බුදුබණ දන්න කෙනෙක් හොය හොයා තැනින්තැන ගිහිල්ල තියනව. එහෙම යනකොට රජතුමාට මහා දරුණු යක්ෂයෙක් මුණ ගැහිල තියනව. බණ පදයක් අහන්න නැතිව රජතුමා කොයිතරම් අසරණ තත්වයට පත්වෙලා ඉඳල තියනවද කියනව නම් රජ්ජුරුවො ඒ යක්ෂයගෙනුත් අහල තියනව බණ දන්නවද කියල. එහෙම අහපුවහම යක්ෂය කියල තියනව ඔව් මම බණ දන්නව ඒත් මමඉන්නෙ අධික කුසගින්නෙ ඒනිසා මම නුඹව කනව කියල. රජ්ජුරුවො හිතල තියනව බණ ඇහුවට පස්සෙ මලත් කමක් නැහැ කියල. ඒවුනත් ඉතින් බණ අහන්න ඉස්සෙල්ල මැරුනොත් බණ අහන්න බැරිවෙනවනෙ. ඉතින් දෙන්න එකඟවෙලා තියනව රජ්ජුරුවො මහා ගල්කුලක් උඩ ඉඳල යක්ෂයට කන්න යක්ෂයගෙ කටට පනින්නත් ඒ පනින අත‍රෙ යක්ෂය විසින් රජතුමාට ඇසෙනසේ බණ කියන්නත්.ඉතින් රජතුමා ගල්කුල උඩ ඉඳල යක්ෂයට කන්න යක්ෂයගෙ කටට පනින අතරෙ යක්ෂය විසින් රජතුමාට ඇහෙන්න කියල තියෙන්නෙ මේ ගාථාව බවයි සඳහන්වෙන්නෙ. මේ කථාවත් ඒ යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන ඇවිත් තියෙන්නෙ ශක්‍ර දේවේන්ද්‍රය බවත් බෞද්ධයො කව්රුත්වගේ දන්නව. ඉතින් එයිනුත් පෙනෙන්නෙ මේ ගාථාව කොයිතරම් වටිනවද කොයිතරම් වැදගත්ද කියනඑකයි.

මේ ගාථාව බුදුරජානන්වහන්සේ පිරිනිවනට පත්වූ අවස්ථාවේ ශක්‍ර දේවේන්ද්‍රය විසින් කෙලෙස් වලින් තොරව සැබෑ සැපයෙන් නොහොත් නිර්වාණ සැපයට පත්ව සිට පිරිනිවන් පෑ  උතුම්වූ බුදුරජානන්වහන්සේ පත්ව සිටි නිර්වාණ සැපය අගයකරමින් කියපු ගාථාවක් බවයි තේරුම් යන්නෙ. තවත් ආකාරයකට කියනව නම් මේ ගාථාව  පිරිනිවනට පත්වූ  බුදුරජානන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ පිරිනිවන් පෑ  අවස්ථාවේ ශක්‍ර දේවේන්ද්‍රය විසින් කියපු උපහාර ගාථාවක්.

ගැඹුරු සද්ධර්ම අර්ථයෙන් යුතු මේ ගාථාව බෞද්ධයන් විසින් නිරන්තරව කියන සබ්බ පාපස්ස අකරණං ගාථාව වගේ නිතර මෙනෙහි කරන්න ඕන තේරුම්ගන්න ඕන ගාථාවක්‚ මෙම ගාථාව ගෙදර බුදුන් වඳින අවස්ථාවෙදි වුවත් කියන්න හැකි ගාථාවක්. මේ ගාථාවෙ අර්ථය තේරුම්ගෙන නිතර පෙනෙන තැනක හොඳට පෙනෙන සේ ලියා තබාගෙන නිතර මෙනෙහි කරන්න සුදුසු ගාථාවක්.  එහෙමවුනත් වර්ථමානයෙ ඉන්න බණ නොදන්න බහුතරයක් මිනිස්සුන්ට මේ ගාථාව දැක්කගමන් ඇහුන ගමන් මතක්වෙන්නෙ මලගෙදරක්. ඒ නිසා  අනිච්චා වත සංඛාරා" ගාථාව හොඳට පෙනෙනසේ තැනක ලියා තබාගන්න වර්ථමාන සමාජයේ ඉන්න අය පෙළඹේවි යයි හිතන්න බැහැ.

ඉතින් ඒ උතුම්වූ බුදුරජානන්වහන්සේ පිරිනිවනට පත්වූ අවස්ථාවෙ ශක්‍ර දේවේන්ද්‍රය විසින් කියල තියන මෙම වටිනා ගාථාව මලගෙවල්වලදි විතරක් කියන එක හරිද


 

Saturday, October 8, 2022

බස්නාහිර පලාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින් අනිසිලෙස සේවයෙන් පහකර ඇති ගුරුවරයා

 

බස්නාහිර පලාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින් අනිසිලෙස සේවයෙන් පහකර ඇති ගුරුවරයා

 

ඔහු මට මුණ ගැසුනේ 2019 වසරේදී අහම්බෙනි                                                  ඔහු නමින් කිංස්ලි පෙරේරාය ඉපිද ඇත්තේ 1937 වර්ෂයේදීය අධ්‍යාපනය ලබා ඇත්තේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයෙනි ඔහු වානිජ අංශයෙන් වැඩ හතයි සම්මාන තුනක් සහිතව අ.පො.ස. සාමාන්‍යෙපල සමත්ව ඇත ඉන්පසුව ඔහු 1961 දී රජයේ ගුරු පත්වීමක් ලබා ඇත ඔහුගේ මුල් පත්වීම ලැබී ඇත්තේ කැකිරාව මධ්‍ය විද්‍යාලයටයි 1964 දී ඔහු මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව ඇති අතර එහිදී ඔහුට පුහුණු ගුරු සහතික පත්‍රය ලැබී ඇත ඉන් පසුව ඔහු විවිධ පාසල්වල සේවය කර ඇත  



                                                                                                                   

එගොඩඋයන පාසලේ සේවය කරනඅතර 1982 වර්ෂයේදී ඔහු අසනීපව ඇත එවිට ඔහුගේ සේවා කාලය වසර 21 ඉක්මවා ඇත  එම අසනීපය නිසා කොළඹ මහ රෝහලට ඇතුලත්වූ ඔහු එහි නේවාසිකව  මාස තුනක් ප්‍රතිකාර ලබා ඇත එම මාස තුන සඳහා කොළඹ මහ රෝහලින් වෛද්‍ය සහතික නිකුත්කර ඇත එහෙත් ඔහුට නැවත සේවයට පැමිණීමට ඉඩදී නැත එයට හේතුව ඒවනවිට නොදන්වා සේවයට නොපැමිණීමේ වරදට ඔහුව සේවයෙන් නෙරපා තිබීමය                                            

අප දන්නා ආකාරයට එය සම්පූර්ණයෙන්ම වැරදිය නීති විරෝධීය රජයේ රෝහලකින් නිකුත්කරනලද වෛද්‍ය සහතික තිබියදී රාජ්‍ය සේවකයෙක් සේවයෙන් නෙරපිය නොහැක එසේ කරනවා නම් එය කලහැක්කේ එම තැනැත්තා වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියට පමුණුවා එම වෛද්‍ය මණ්ඩලයේ  අනුමැතිය ලබාගැනීමෙනි නමුත් එසේ කර නැත ඉන්පසුව කිසිදු වැටුපක් නොලැබුන ඔහු ඉතා අසරණ තත්වයට පත්ව ඇත ඉන්පසුව ඔහු දිගින් දිගටම තමන් දන්නා අයුරින් විවිධ නිලදාරීන්ට අභියාචනා ඉදිරිපත් කරමින් තමන්ට සිදුවූ අසාධාරණය ගැන කරුණු කියා ඇත නමුත් කිසිදු බලධාරියෙක්ගෙන් ඔහුට පිලිසරණක් ලැබී නැත රජයේ රැකියාවෙන් නෙරපුන කිසිදු වැටුපක් නොලැබුන ඔහු අන්ත අසරණ තත්වයට පත්ව ඇත ඉන්පසුව 1985 සිට ඔහු විදේශගතවූ කෙනෙකු අතහැර ගිය ගරාවැටීඇති අබලන් නිවසක යන්තමට ඉතිරිවී තිබුන කාමරයකට වී තනිව ජීවත්වෙන්නට පටන්ගෙන ඇත


 

ඉන්පසු අව්රුදු 28ක් ගතවීමෙන් පසුව නොහොත් ඔහුව සේවයෙන් පහකල 1982 වසරින් අව්රුදු 28කට පසුව එනම් 2010 වර්ෂයේදී පරිපාලන අභියාචනා විමසා බැලීමේ මණ්ඩලය මගින්  ඔහුගේ අභියාචනය විභාගකර ඇත එහි සභාපතිව සිට ඇත්තේ එන් ඊ දිසානායක විනිශ්චයකාර තැනයි එම විභාග කිරීමෙන් පසුව එම මණ්ඩලය විසින්  පිටු හයක වාර්තාවක් නිකුත් කර ඇත ඔහුව සේවයෙන් පහ කිරීම බස්නාහිර පලා‍තේ එම අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අනිසිලෙස කරන ලද්දක් බව එහිදී තීන්දුකර ඇත එවිට ඔහුගේ වයස අව්රුදු 63ක් බැවින් ඔහුව 1982 නැවත සේවයේ පිහිටුවා එදිනම විශ්‍රාමගන්වනමෙන් නියෝග කර ඇත වන්දි මුදලක් ලබාදී නැත


 

තමන් නිවරදිකරු බව රජයට පෙන්වාදීමට එසේ ඔහුට ඉඩ ලැබී ඇත්තේ  වැටුප් නොලබා වසර 28ක් අසරණව ජීවත්වීමෙන් පසුවය

එම තීන්දුව ලැබීමෙන් පසු ඔහුට කරන්නට තිබුනේ රජයට විරුද්ධව නඩුවක් පැවරීම බව ඔබ කියන්නට පුලුවන නමුත් වසර 28ක් තිස්සේ කිසිදු වැටුපක් නොලබා අසරණව අනුන්ගේ පිහිටෙන් ජීවත්වන කෙනෙක් කෙසේ නම් රජය සමග නඩු කියන්නද

එහෙත් 2010දී දෙනු ලැබූ එම තීන්දුව අව්රුදු හතකට පසු  2017දී  නැවත වෙනස්කර ඔහුට විශ්‍රාම වැටුප් ගෙවියයුත්තේ 1982 සිට නොව 1992 සිටයයි නැවත තීන්දුවක් දී ඇත ඔහු එයට එක නැත ඔහු පවසන්නේ එය නීතිවිරෝධීබවය 


 

 

2019 ඔහු ගැන දැනගත් මම මේ සටන කවදා කෙසේ කෙලවරවෙයිදැයි බලා සිටියෙමි එහෙත් තවමත් එහි ඉවරයක් නැත 


 

එමෙන්ම එම සටන ගැන වර්තමාන ජන සමාජයේ වැඩිදෙනෙක් දන්නේ නැත එබැවින් එය මෙහි ලියන්නට සිතුවෙමි

දැන් ඔහුගේ වයස අව්රුදු 85 ඉක්මවා ඇත  ඔහු කිසිදු වැටුපක් නොලබා අසරණව අනුන්ගේ පිහිටෙන් ජීවත්වෙන්නට පටන්ගෙන මේවනවිට වසර 40කටත් වඩා ඉක්මගොස් ඇත දැනටද ඔහු ජීවත්වන්නේ එම අබලන්ව ඇති කාමරයට වී තනිවය තමන්ට අයත් තමන් අතහැරදමා පැමිණි ලංකාවේ ඉඩමේ ගරාවැටුන නිවසේ ඉතිරිවී ඇති කොටසක අසරණ මනුෂ්‍යෙයක් රැී සිටිනබව දැන් කලකසිට  එම පිටරට සිටින අය දනියි එහෙත් අණුකම්පාව නිසා එම අය එයට ඉඩහැර සිටියි දැන් ඔහුගේ ඇස්පෙනීම අඩුය එහෙත් කෑම පිලියෙල කර ගනියි ඔහු සතුව ජංගමදුරකථනයක් ඇතත් එයද නොයෙක්විට අබලන්ය චාර්ජ් එක බැහැලාය රීලෝඩ් ඉවරය එන ඇමතුමක් ගැනීමට ඔහු පුරුදුවී ඇතත් දුර කථනයේ සහන්වන අංක ඔහුට පැහැදිලිව බලාගැනීමට අසීරු බැවින් නැවත ආපසු ඇමතුමක් ගැනීම අසීරුය

මේ සම්බන්ධව ඇති අලුත්ම ලිපිය නිකුත්ව ඇත්තේ 2022.03.07 දිනය බස්නාහිර පලාත් අධ්‍යක්ෂට සහ පිලියන්දල කලාප අධ්‍යක්ෂකට පිටපත් සහිතව නිකුත්කර ඇති එහි සහන්වන්නේද 1992 සිට විශ්‍රාම වැටුප් ගෙවන ලෙසය

එහෙත් ඔහු එයට එක නැත ඔහු කියන්නේ එසේ කලහොත් එය තමන්ට කරනලද අසාධාරණය තමන් විසින්ද අනුමත කිරීමක් වන බවයි

එබැවින් 85 වියද ඉක්මවා ඇති තනිව අසරණව අනුන්ගේ අගුපිලක සිටින මේ තැනැත්තා තවමත් තමන්ට සාධාරණය ඉටුකරගැනීම සහා සටන් කරමින් සිටී

ඔහුගේ මෙම කතාව චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමටවුවද සුදුසු නොවේද මෙහි තැනින්තැනින්ගෙන යන්තමට සහන්කර ඇත්තේ තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි ඔහු කියනා එම කතාවයි අප විසින් කරනු ලබන්නේ එම කතාව ඉදිරිපත් කිරීමයි එම චෝදනා හරිද වැරදිද යන්න තීරණය කර වරදක් සිදුවී ඇත්නම් එයට සාධාරණය ඉටුකලයුත්තේ අදාල බලධාරීන් විසිනි