Saturday, November 12, 2022

වර් ෂ 1721දී නරේන්ද්‍රසිංහ රජුගේ බිසවගේ අභාවය වෙනුවෙන් ලන්දේසීන්ගේ ශෝකය

 

1640 වර්ෂයේ  සිට ලංකාවේ මුහුදුබඩ ප්‍ර‍දේශවල පාලනය අත්පත් කරගෙන ඇති ලන්දේසීන් 1796 වර්ෂයේ ඔවුනගේ පාලනය අවසන් වනතුරුම ලංකාවේ තොරතුරු සම්බන්ධ වාර්තා ක්‍රමානුකූලව පවත්වාගෙනගොස් ඇත. උඩරට රාජධානිය යටත් කරගැනීමට කරනලද සටන් සාර්ථකවී නැති බැවින් එම සටන් අතරහැර 1766දී ඔවුන් කොන්දේසි සහිත සිංහල ලන්දේසි සාම ගිවිසුමක් ඇතිකරගෙන ඇත. එහෙත් කෙසේ හෝ උඩරට යටත්කරගැනීමේ බලාපොරොත්තු ලන්දේසීන් විසින් අතහැරදමා නැත. එම බලාපොරොත්තු සහිතව ඔවුන් උපක්‍රමශීලීව උඩරට රාජධානිය සමග සම්බන්ධතා පවත්වාගෙනගොස් ඇත.

 

වර්ෂ 1721දී  සිංහල රාජ වංශයේ අවසන් රජුවන වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍යකාලයේදී මදුරාපුරයෙන් ගෙනා රජුගේ බිසවක් කාලක්‍රියා කර ඇත. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් ලංකාවේ සිංහල රාජ වංශය අවසන්වන්නට ඇත්තේ ඉන්දියාවේ මදුරාපුරයෙන් කැන්දාගෙන ආ රන්දෝලියට දරුවන් නොලැබුන නිසාවන්නට ඇත. සමහරවිට ලංකාවේ යකඩදෝලියන්ට දරුවන් සිටින්නට ඇති නමුත් ඔවුන්ට රාජ්‍යත්වයට උරුමයක් නොවන්නට ඇත.

 එම රජ බිසවගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයාව සිට ඇති අයිසාක් ඔගස්තීන් රම්ප්ගේ නියමයෙන් තනාපති දූතගමනක යෙදී ඇත්තේ කොර්ණේලිස් ටැකල් නමැති ලන්දේසි නිලධාරියෙකි .



 

 


 

 එම දූතගමන සම්බන්ධව ඔහු විසින් ලියා ඇති වාර්තාවක සිංහල පරිවර්ථනයක් සහිත ලිපියක් විද්‍යා විශාරද මාතලේ සාශනතිලක ස්වාමීන්වහන්සේ විසින් 1954 පෙබරවාර් 7 වන ඉරිදා සිලුමිණ පත්‍රයේ පළකර ඇත.

 

එයින් එවකට ලංකාවේ පැවති ස්වභාවය සහ රාජ්‍ය පාලන ස්වභාවය ගැන ඇතැම් කරුණු දැනගත හැක. එම ලිපියේ සඳහන්ව ඇති ආකාරයට ඔවුන් රජු බැහැදැකීමට ගොස් ඇත්තේ සෙංකඩගලපුරයට නොව හඟුරන්කෙතටයි. එයින් තේරුම්යන්නේ  එම කාලයේදී රජු සිට ඇත්තේ සෙංකඩගල නුවර නොවන බවයි. තේරුම්ගැනීමට අපහසු කරුණක්වන්නේ ඔවුන් ගොස් ඇති ගමන්මාර්ගයයි. එම ගමන්මාර්ගය සහ එහි සඳහන්ව ඇති ඇතැම් ගම්වල නම් වර්තමානයේ ඇති අපට හුරුපුරුදු ඒවා නොවේ. 


 

 එම ලිපියේ සඳහන්වන කරුණු අනුව අප්‍රියෙල් 25 දින කොළඹින් පිටත්ව ඇති  ඔවුන්ට හඟුරන්කෙතට යාමේදී තලාතුඔයෙන් එගොඩවෙමින් මැයි 14 වනදා දෙහෙල්කඩ කඩවතට යාමට දින විස්සක් පමණ ගතවී ඇත. එසේ යාමේදී ඔවුන් ගන්නොරුව පසුකලපසු පරණ මාලිගාව පිහිටි සෙංකඩගල නුවරද මහේශක්‍ය ලීලාවකින් දර්ශනය විය යනුවෙන් සඳහන්ව ඇත. එයින්ද තේරුම්යන්නේ  එම කාලයේදී රජු සිට ඇත්තේ සෙංකඩගල නුවර නොවන බවයි. දින විස්සක පමණ ගමණකින් පසුව ඔවුන් රජු සිටි ප්‍රදේශයට ගොස් ඇතත් ඔවුන්ට රජු දැකීමට අවසර ලැබෙනතෙක්  එහි දින තුනක් බලා සිටීමට සිදුව ඇත.


 

  රජු දැකීමට අවසර ලැබුනත් ඉන්පසු එම දූත පිරිසට රජු දැකීමට මහ වාසල තුලට කැඳවීමක් ලැබෙනතෙක් බලාසිටින්නට සිදුව ඇත. ඉන්පසුව මහ වාසල තුලට ගොස් ඇති ඔවුන්ට රජු දැකීමට හැකිව ඇත්තේ එහි සිටි රාජ පුරුෂයින් විසින් තිර හතරක් ඇද ඉවත්කිරීමෙන් පසුවය. රජු දුටුවිට ඔහු තොප්පිය ගලවා දණගසා ආචාරකර ඇති අතර ඔහු සමග ගිය අනිකුත් අය හය වතාවක් බිම දිගාවී රජුට වැඳ ඇත. ඉන්පසුව රජු විසින් ඔහුව ළඟින් වාඩිකරවාගෙන ඇති අතර ලන්දේසි උතුමානන් නොහොත් එවකට ලංකාවේ සිට ඇති ලන්දේසි ආණ්ඩුකාරයාගේ සුවදුක් විමසා ඇත.

2 comments:

  1. අයිතිහාසික මාර්ග ගැන හොඳින්ම ලියන්නෙ මේ බ්ලොග් එකේ
    http://trisinhala.blogspot.com/p/blog-page_28.html

    ReplyDelete